අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

විශේෂ ලිපි

                              හදහන පිළිබදව පිළිස‍ඳරක් ( 5 )                            තව කියවන්න..........

       බෞද්ධ - හින්දු පෙරදිග ශිෂ්ටාචාරය තුල බැදුණු ජෝතිෂ්‍ය විෂය මිනිසුන්ගේ විශ්වාසයන් හා බද්ධ වූ ඇදහිල්ලක් බවට පත් වී ඇති අවස්ථාද අපට හමු වේ. කෙනෙකුගේ උපත සිදු වූ වේලාව දැක් වූ විට ඒ පිරිමියෙක්ද - ගැහැණියෙක්ද යන්න නොවලහා පැවසිය හැකිය යන විශ්වාසයද හට ගෙන ඇත්තේ මෙකී ඇදහිල්ල පදනම් කොට ගෙනය.

      අතීතයේ ගැමි ගෙදර හුදකලා පරිසරයක ජීවත් වූ ගැබිණියක් වෙල් යායත් - ගමත් - පන්සලත් මැද්දේ ජීවත් වූ ස්වභාවික පරිසරයක් තුල ඇගේ හැඩ වැඩද - දොල දුක - හැසීරීම ආදියද පදනම් කොට ගෙන ඇගේ කුසෙහි සිටින්නේ පිරිමි දරුවෙක්ද - ගැහැණු දරුවෙක්ද යන්න කියා පෑමට ගැමියෝ සමත් වූහ.

      තවද මහපොළව -සුළග - පිරිසිදු ලිං ජලය - ආහාර පාන ආදී සියල්ලෙහි නැවුම් බව නිසා භාහිර කිසිම සංසිද්ධියක් ඔවුන්ගේ ජීවිත වලට බලපෑම් ඇති කලේ නැත. එකල දරුවා උපත ලැබුවේ ගැමිගෙදර සකස් කර ගත් තාවකාලික තිඹිරි ගෙයක් තුලය. කුස තුල හොත් දරුවාට කිසිම අනිසි බලපෑමක් සිදු නොකොට ඉර - හඳ -තරු වලට ඇති අයිතිය සුරක්ෂිත කළ බැවින් ස්වභාවධර්මය තමන්ට අයත් වූ නිසර්ග නිහැඩියාවෙන් යුතුව දරු උපත් සිදු වීමට අවකාශ සලසා තිබිණ.

      නමුත් වර්තමානයෙහි පවතින්නේ ඊට වඩා බොහෝ සෙයින් සංකීර්ණ කරන ලද වටපිටාවකි. තමන් ගැබිණියක් බව හඳුනා ගත් අවස්ථාවේ පටන් මෙහිදී ගැබිනියගේ සියළු සෞඛ්‍යමය අවස්ථාවන් වෛද්‍යවරුන්ගේ භාරයට පත් කරනු ලැබේ. වරින් වර ඔවුන් සායන චිකිත්සාවන්ට යොමු කරනු ලබන අතර එහිදී දරුවාගේ වැඩීම හා මවගේ අවශ්‍යතා පිලිබඳවද කරුණු අධ්‍යයනය කරවන අතර ඇය දරුවා බිහිකොට තවත් වසර කිහිපයක් ගතවන තුරුම මාතෘ සායනයේ මග පෙන්වීමක් ඇයට හිමි වේ.

       මවක් දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කළ පසු කල් පිරීම සපුරා ඇත්නම් වහාම දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය වන බෙහෙත් - හේත් ආදී පහසුකම් ඇයට ලබා දෙනු ඇත. මෙබඳු සංවිධාත්මක ක්‍රමවේදයක් තුල ගැබිනියකට ස්වභාවිකත්වයන් මගින් යම් දරු උපතක් සිදු කිරීමට හැකියාවක් නැත. වහ වහා දරු උපත් කටයුතු අහවර කොට තදබදය මග හරවා ගැනීමට රෝහලට අවශ්‍යව ඇති බැවින් ස්ත්‍රි උපතක් හෝ පුරුෂ උපතකට අනුකූලව ශෛලගත ක්‍රමවේදයක් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක නොවේ. වේගය හා කාර්යක්ෂමතාව හා ආරක්ෂාවද පදනම් කොට ගැනීම විනා වෙනත් අවශ්‍යතා කිසිවක් පිළිබඳව රෝහල් පරිශ්‍රය තුල උනන්දුවක් නොදක්වනු ඇත. මෙබඳු ක්‍රියාකාරීත්වයන් හා සංවිධානාත්මක උපත් සිදු කරනු ලබන බැවින් එකී දරුවාගේ උපතට අදාලව හඳහන පිළියෙල කර ගැනීම විනා හඳහනක අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා උපන් වේලාව කපා කොටා සංශෝධනය කර ගැනීම සිදු නොවිය යුත්තකි.

         මෙය ස්ත්‍රි උපතක්ය - මෙය පුරුෂ උපතක්ය යන්න තීරණය ගැනීමට තත්කාලය පරික්ෂා කිරීම සාර්ථක ක්‍රමයකි. නමුත් මෙහිදී වැදගත් වන්නේ උපත සිදු වූ දරුවාගේ හඳහන පරික්ෂා කර බැලීම බැවින් නිකරුණේ දේ වලට කාලය මිඩංගු කර දැමීම නිශ්පල ක්‍රියාවලියක්ද වේ.

        දරු උපතක් සිදු වීම හා දරු උපතක් සිදු කිරීම යනු දෙවිදිහකට අයත් උපත් ක්‍රමවේද දෙකක් වශයෙන් සැලකේ.

     ඖෂධ -රසායන - ශල්‍ය කර්ම ආදිය යොදා ගනිමින් ගැබක් එළියට ගැනීම තුලින් අපට හිමි වන්නේ කෘතිම දරු උපතකි. නමුත් ස්වභාවික වූ දරු උපතකදී සංසාරගතව පවත්නා යම්කිසි කුශලාකුශල කර්ම වේදයකට අනුව ප්‍රතිසංධිමය දරු උපතක් සිදු වන බවත් ජෝතිෂ්‍ය තුලින් අනාවරණය වේ.

       ප්‍රතිකාරමය ක්‍රියාපිළිවෙතකින් තොරව සිදුවන දරු උපතකදී මවිපියන්ගේ ග්‍රහ බලය හා සපේක්ෂව ගොඩනැගුනු කාල වේලාවක් යෙදී ඇති ආකාරයන් අපට දැක ගත හැකිය. උදාහරණයක් වශයන් සලකතොත් පියාගේ හෝ මවගේ ලග්නය - නැකත - තිථිය - දිනය හා යෝගය ආදී පංචවිද කරුණු ආදියෙන් යමක් දරුවාගේ කේන්ද්‍ර වලද සටහන් වේ. ඇතැම් විට පියා - මව ගත කරනු ලබන දශාවන් හා සාපේක්ෂව දරු උපත් සිදුවන අතර මව්පියන්ට ප්‍රතිවිරුද්ධව යෙදී ඇති පංචාංග උදා වූ අවස්ථාද අපට හමු වේ.

      මෙහිදී දරු උපත් සිදු කරවීම යනු ජීව විද්‍යාත්මක කරුණු අනුව එක්තරා නිදොස් ක්‍රම වේදයක් වශයෙන් ඉදිරිපත් කල හැකිය. එබදු අවස්ථාවන් සඳහා නිපුනතාවන් ඇති අයගේ සහභාගීත්වය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිකාර ලබා ගැනීමට හිමිකම් ලබීම - ආරක්ෂාව - වගකීම ආදී ප්‍රතිලාභ දරුවාටත් මවටත් ලැබේ.

      නමුත් මෙහිදී ජන්මියාගේ සංසාරය තුල පිළිසිඳ නොගත් ඉතා අහඹු දුබල ග්‍රහ සංකලනයන්හි පීඩාවන්ට ගොදුරු වීමේ ඇතැම් අවධානම් සහගත තත්වයන්ද අපට අප්‍රමාණව හමු වේ. දෙමවිපියන් හෝ වෙනත් කිසි කෙනෙකු අනුමත නොකරන අකාරයට දුක් සහගත ජීවිත ගොඩනගන සුළු කාල වේලාවන්හි උපත් සිදු කිරීම මගින් මුළු ජීවිත කාලය තුලම තමන්ගේ කුශලතා ගොඩනගා ගැනීමට අවකාශයක් නොලබන දරුවන් අප අතර බොහෝය. මේ කාගේ වරදින් සිදුවන අවාසනාවන්ත ක්‍රියාවලියක්ද ? මේවාට පිළිතුරු සපයා ගත යුතුය.

       දෙමව්පියන් රකිමින්ද ඉතා නිවැරදිව රැකියා කටයුතු වල නිරත වෙමින්ද ධාරිමිකව හා ලෙන්ගතු කමින්ද තම දිවි පෙවෙත ගත කල නව යුවළකට බිරිඳගේ ඉතා අහම්බෙන් ඇති වූ වේදනාකාරී අවස්ථාවකදි ශල්‍යකර්මයක් මගින් දරු උපතක් සිදු කල අවස්ථාවක් මාගේ සිහියට නැගේ. වෛද්‍ය වාර්තා වලට අනුව නිසි කල එලඹීම - නිසි බර වැඩීම ආදී සියළු කරුණු යහපත්ව .තිබියදී උපත සිදු කොට ඇත. දරුවාගේ නාමය තැබීමේ අවශ්‍යතාව පැවතුනෙන් හඳහන කියවා ගැනීමට වැඩිහිටි කෙනෙක් ඉදිරිපත් විය. හඳහනට අනවු කියැවුනේ යහපත් කරුණු නම් නොවේ. දෙමව්පියන් දෙපළ බරපතල ලෙස සංවේගයටත් කම්පාවටත් පත් වූහ. දරුවා ඉපදී දින කිහිපයක පටන් විවිධ උණ - පාචනය ආදී රෝග සංකූලතා හට ගැනීමට පටන් ගත් අතර මෑණියන්ට දරුවා රැගෙන රෝහල් ගත වීම දින චරියාවක් තරමට සුපුරුදු දෙයක් බවට පත් විය.

        ඇතැම් විට දරුවාගේ ලේ - අශූචි - මූත්‍රා ආදිය ගෙන විවිධ වෛද්‍ය වෘත්තිකයින් විසින් පරික්ෂා කරනු ලැබුවත් ඒවා නිදොස් බව කියැවින. දරුවා වෙනුවෙන් බොහෝ දේවල් කරනු ලැබූ අතර මෙහිදී මවගේ රැකියාව පවා අත්හැර දැමීමට සිදු විය. ඔවුන් වසරක කාලයක් පමණ ගත වන විට දැඩි දුෂ්කරතා රාශියක් විදිමින් මවිපියන් සිටින ගම් පළාතට පදිංචියට ගියහ.

       බෝධි පුජා - ග්‍රහ පූජා - ශාන්ති කර්ම ආදියෙහිද ඔවුන් නිරත වූහ. නමුත් ඒ කිසි දෙයක් යථාර්තයක් බවට පත් වූයේ නැත. මවිපියන්ගේද - දරුවාගේද වාසනා ගුණය මද බැවින් වයස අවුරුදු 01 යි මාස 07 දී පමණ මේ දරුවා මරු වසගයට පත් විය. අවාසනාවක තරම ඊට අදාල වෛද්‍ය වාර්තා මගින් පැවසුනේ මුත්‍රා මාර්ගයේ විෂ බීජයක් ඇතුළු වීම නිසා මේ මරණය සිදු වී ඇති බවකි.

       හදිසි උපතක් සිදු කරවීම කාලීන හා සමාජ අවශ්‍යතාවකි. ඒ තුලින් බොහෝ දුරට ළදරු හා මාතෘ මරණ සංඛ්‍යාව පහළ මට්ටමක පැවතීම සතුටු දායක කරුණකි. නමුත් මේ තත්වයන් තව දුරටත් සංවිධානය විය යුතු බවට විශ්වාස කල හැකිය.

       බොහෝ අවස්ථාවල ඇතැම් දෙමව්පියන් වෛද්‍ය විශේෂඥයින් හමු වී ඔවුන් හා සාකච්ඡා කොට යොදා ගත් විශේෂ කාල වේලාවන්හි උපත් සිදු කරති. එවිට මව්පියන් කෙරෙහි බලපාන කුශලාකුශල කුමක් වුවත් නිදොස් හා ශක්තිමත් වේලාවක් යොදා ගැනිමේ හැකියාව කෙනෙකුට ලැබේ. මේ සඳහා සියළු වගකිව යුත්තන් සද්භාවයෙන් යුතුව මතු පරපුර වෙනුවෙන් මේ සඳහා ක්‍රමවත් වූ වැඩපිළිවෙලක් සකස් කල යුතු වේ.

 

කොත්මලේ සෙනෙවිරත්න  

තව කියවන්න...............

 

 

‹ පෙර 1 2 3 4 5 6 7 8 පසු ›