අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

විශේෂ ලිපි

 

කෙළිබිම ජය ගැනීමට ජෝතිෂයයෙන් රහස් මඟක්                     මුල් පිටුවට

    

       2016 තවත් ඔලිම්පික් වසරක් උදා වි ඇත. ක්‍රීඩාව මානවයාගේ කොඳුනාරටිය පිළිබිඹු කරන මිණුම් දණ්ඩක් බවට කියාපාමින් මහා ඔලිම්පික් ගිනි සිළුව තවත් කෙටි කාල පරිච්ඡේදයක් තුල දැල් වී මේ මහ පොළව මත ක්‍රීඩාවේ උණුසුම දොරේ ගලා යාමට පටන් ගනී. දස දෙසින් නැ‍ඟෙන ඔල්වරසන් නාදයත් සමඟ මේ මිහිපිට මිනිසාගේ ශක්තිය හා බලය අරභයා පොරබදන මහා බලවතුන් එකට එක් රොක්වන ඒ මහා ක්‍රීඩා මංගල්‍යය තුල ශ්‍රී ලංකාවට මෙවර ලබා ගත හැක්කේ කුමන ස්ථානයක්ද ?

       මේ වූ කලී සංකීර්ණ වූ හා බරපතල වූ පැනයකි. මෙතෙක් ඉතිහාසය තුල අපට අත් විඳින්නට සිදු වූ ජය පරාජය - දුක් කම්කටොළු - කෙනෙහිලිකම් හා අඩුපාඩුකම් සියල්ල ජයග්‍රහණය කරා ගෙන යන පාවාඩයක් බවට පත් කරගෙන ජගත් කෙළිබිම ඉදිරියේදී ජය ගැනීම සඳහා අපට අපේම ශක්තිය හා නුවණැස යොදා ගත හැකි ආකාරයන් පෙන්වාදීමට මා මේ ලිපිය එක් අවස්ථාවක් කර ගනිමි.

ජයපරාජය

      ක්‍රීඩාවේ විලාශය වූ කලී ජය හා පරාජය දෙකින් සමන්විත වූවකි. ජයග්‍රහණය මෙන්ම පරාජයද විඳ දරා ගැනීමට හැකියාව හා බලය ලබා දෙන ක්‍රීඩාව තුලින් යහපත් වූ සමාජ පරපුරක් ගොඩනඟයි. ඉවසීම - වීර්යය - නුවණැස - ශක්තිය හා වාසනාව යන පංචවිද බලය එක ලෙසටම බලවත් වූ විට ජයග්‍රාහකයා බිහිවන ක්‍රමවේදයක් ක්‍රීඩාව තුල දක්නට ලැබේ. ඉඳින් මේ මහා පංච විධ බලය පිළිබඳව මැනවින් අධ්‍යයනය කොට ක්‍රීඩාව තුලින් ජය කෙහෙළි නැංවීම සඳහා ශ්‍රී ලංකාව පෙළ ගැසෙන නව ආර අනාගතයේදී කුමක් විය යුතුද ?

ඉවසීම හා වීර්යය - නුවණැස හා ශක්තිය

       මේ චතුර්විධ බලය ලබා ගැනීම සඳහා ගුරු උපදෙස් මඟින් මනා නිපුනත්වයක් ලබා ගැනීමට ක්‍රීඩකයින් නිරායාසයෙන්ම පෙළඹෙති. විවිධ දේශගුණයන්ට හා පරිසරයන්ට ඔරොත්තු දෙන අකාරයට තම ක්‍රීඩා කුශලත්වයන් වැඩි දියුණු කර ගැනීමටද ඔවුන් කටයුතු කරති. අත්‍යවශ්‍ය වූ සාධකයක් වශයෙන් සැලකෙන පෙර සූදානම ක්‍රීඩාව තුල ඉමහත් වූ ජයග්‍රහණයන්ට මඟපාදයි. නිරෝගී බව හා දරා ගැනීමේ හැකියාව - ඉවසීම වැනි මානව කුශලතා මඟින් බලගැන් වූ මිනිස් බලයට විශිෂ්ටත්වයක් හිමි කරදීම සඳහා තරඟ වදින කණ්ඩායම් කරට කර ගැටෙන අවස්ථා වලදී ජයග්‍රාහකයා පෙරටු කොට ගෙන එක්තරා විශේෂ ශක්ති ජාලයක්ද ක්‍රියාත්මක වන බව බොහෝ දෙනා නොදනිති. නමුත් ඒ ශක්තිය කෙනෙකු විසින් ලබා ගැනීමේ ක්‍රමවේදය කුමක්ද යන්න නොහඳුනන අතර “වාසනාව” නැමති ඒ ශක්ති අනුහස් පිළිබඳව අපූර්ව වූ සිද්ධාන්ත ගත කරුණු අපේ පැරණි ජෝතිෂ්‍ය පොත් පත් වල සඳහන් වේ.

මිනිස් කුශලතා විදහා දැක්වෙන කැඩපත හඳහනයි

       බොරු කාරයින් හා අල්පේච්ඡයින් විසින් කිසිඳු ශාස්ත්‍රිය ගවේශණයන්ගෙන් තොරව ඉතා ලඝු කොට ගෙන වර්තමානයෙහි භාවිත කරන ජෝතිෂ්‍යය ඇබිත්ත  පිළිබඳව සමාජය තුල පවතින්නේ සැකයකි. අකමැත්තකි. තම ශක්තියෙන් කැපවීමෙන් හා උනන්දුවෙන් ජයග්‍රහණය කරා පැමිණි කෙනෙකුට හඳහන නුහුරු නුපුරුදු අත්දැකීමක් විය හැකිය. තමන් පැමිණි ගමන්මගේ පැවති අනේක විද දුෂ්කරත්වයන් හා පරාජයන් හමුවේ මේ “වාසනාව” යන කියමනට අර්ථයක් තිබේද යන ගැටළුව ඔවුන් තුල හට ගනී. මේ පිළිබඳව නිවැරදි නිගමනය තෝරා බේරා දැන ගැනීමට හැම කෙනෙක් තුලම පවතින්නේ බරපතල කැමැත්තකි.

උනන්දුව හා කැපවීම

        යම් පුද්ගලයෙකුට උනන්දුව හා කැපවීම තිබේ නම් ස්ථිර වශයෙන්ම හෙතෙම ස්ථිර සාර සාර්ථක පුද්ගයෙකු බවට පත් විය යුතුය. පිටතින් බැලූ විට පෙනෙන්නට තිබෙන මේ යථාර්තය තුල ගැබ්ව ඇත්තේ පුළුල් ගැටළු සහගත සත්‍යතාවකි. එනම් කෙනෙකු යට කී පරිදි උනන්දුව හා කැපවීම සහිත පුද්ගලයෙකු ද යන්න හඳහනක් තුලින් ඉතා පහසුවෙන් එක මොහොතකින් හඳුනා ගත හැකිය. එපමණක්ද නොව හේ සාර්ථකත්වයන්ට පත් වන්නේ කිනම් කාලයකද ? කුමක් අරභයාද ඒ කෙසේද ?යන කරුණු කාරණාද ඊට අදාලව තව දුරටත් අනාවරණය කර ගත හැකිය. කෙනෙකු කීර්තිමත් ජයග්‍රාහකයෙකු වීම සඳහා කෙතෙක් දුරට වාසනාව උපකාරී වේද යන්න විනිශ්චය කර ගැනීම හා වාසනාව බිඳහෙළන අවස්ථා පාලනය කර ගැනීම සඳහා සෑම ක්‍රීඩකයෙකුම තමන්ගේ හඳහන පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කළ  යුතුය.

උදාහරණයක්

දක්ෂ පිතිකරුවෙක් පලමු කඩුල්ලේදීම දැවීයාම

     මේ වූ කලී අනේක වාරයක් ක්‍රිකට් තරඟයකදී අපිට අසන්නට දකින්නට ලැබෙන සාමාන්‍ය දර්ශණයකි. තම කණ්ඩායම වෙනුවෙන් වාර්තා පිට වාර්තා තැබූ ක්‍රීඩකයෙකු වුවත් එක පන්දු වාරයකදී තම පලමු පන්දු වාරයදීම දැවී යාම සාමාන්‍යය සිද්ධියක් තරමටම නොතකා හරින තත්වයක් අපිට තරඟ වලදී දකින්නට ලැබේ. ඔහු දක්ෂ පිතිකරුවෙකු නම් මෙබන්ඳක් සිදු විය හැකි ද ? අප විසින් පලමු විස්තර කොට දක්වන ලද වාසනාව යන ශක්තියෙහි යම් බිඳ වැටීමක් සිදු වී ඇති බව මෙහිදී අවධාරණය කල හැකිය.

     පිටස්තරයෙකුට මේ දැවීයාම නොයෙක් ආකාරයෙන් විස්තර කල හැකිය. පිතිකරුවා ඉක්මන් වූවා වැඩිය .ඔහුට ඒ පන්දුව සඳහා කඩුල්ලේ සිටම නිදහසේ යන්නට ඉඩ හරින්න තිබුණා. ඔහුගේ සූදානම ප්‍රමාණවත් නැත. ආදී වශයෙන් බෝලයත් - පිත්තත් - ක්‍රීඩකයාත් - පන්දු යවන්නාත් වැනි කෝණයක් හරහා විග්‍රහ කොට දැක්වීම අපට සුලබ අත් දැකීමකි.

     නමුත් ජෝතිෂ්‍යයට අනුව නම් මෙබඳු දැවී යාමක් අපට දැකිය හැක්කේ අවාසනාවන්ත දැවී යාමක් ලෙසින්ය. ක්‍රිකට් විචාරකයාද නිතරම මහත් හඬින් මෙහිදී මේ දැවීයාම අවාසනාවන්ත දැවී යාමක් ලෙසට ප්‍රචාරය කරණ අන්දම අපි දකින්නෙමු. එය හරියටම හරිය.

    මෙහිදී සියළු දෙනා එය අවාසනාවන්ත දැවී යාමක් ලෙසට පිළිගනු ලැබුවත් ඒ අවාසනාව ගොඩනැඟුණේ කිනම් හේතුවක් පදනම් කොට ගෙනද යන පැණය පිළිබඳව විමසා බැළු අවස්ථා කිසිවක් දක්නට නොමැත.

      පිටියේදී සිදුවන මෙබඳු අඩුපාඩුකම් ක්‍රීඩකයා පරාජය කරා ගෙනයන ප්‍රධාන සාධක ලෙසට අප හඳුනාගත යුතුය. එබඳු දැවී යාමක් එකී ක්‍රිකට් ක්‍රීඩකයාට පමණක් සීමාවන අවස්ථා ද පවතී. ඇතැම් විට එබඳු දැවීයාමක් සමස්ත කණ්ඩායමටම බලපාන බරපතල පරාජයක් ලෙසටද ක්‍රියාත්මක විය හැකිය. තව දුරටත් එයින් ඔබ්බට ගොස් සමස්ත තරඟාවලිය පුරාවටම මේ අන්දමේ අවාසනාවන්ත දැවී යාම් කරපින්නාගෙන තරඟ වදින ක්‍රීඩකයින් පිළිබඳව ද බොහෝ විට කණගාටුදායක තත්වයක් අපට අත්විඳ ගන්නට ලැබේ.

අවාසනාව යනු කිම

      වාසනාව හෝ අවාසනාව කුමක් ද යන්න නිර්වචනය කල යම් වියතෙක් පිළිබඳව අපට අසන්නට නොලැබේ. තමන් අත රැඳී සුවිශාල වූ ලැබීමක් අනපේක්ෂිත ලෙස ගිලිහී ගිය කල්හි ඒ සඳහා අවාසනාව යන්න යෙදීමට බොහෝ දෙනා පෙළඹෙති. ඉතා සුළු අත් වැරැද්දෙන් හෝ හේතුවක් නිසා යමක් අහිමි වී යාම අවාසනාව බවට නිගමනය කරති.

       මේ වූ කලී බොහෝ දෙනා නොහඳුනන විශ්ව ශක්ති ක්‍රමවේදයකි. මේ ක්‍රියාදාමය එක්තරා විශ්ව ශක්ති ක්‍රියාදාමයක පෙළගැස්මක් බව සිතා ගැනීමට තරම් දැනුමැත්තන් නොමැති වීම නිසා මෙබඳු අකරතැබ්බ වලට මුහුණ දීමට අපට සිදු වී ඇත. පරාජය හෝ දැවී යාම ක්‍රීඩාවේ විලාශයක් වුවත් ඊට තමන් අවනත නොවී සිටීමේ හැකියාව සඳහා ජොතිෂ්‍ය තුල ක්‍රමවේදයන් හඳුන්වා ඇත. මෙබඳු විශ්ව රහස් පිළිබඳව දන්නා ප්‍රමාණිකයින් නොමැති වීමේ අඩුපාඩුව නිසා බොහොමයක් පරාජයන් අකැමැත්තෙන් වුව වැලඳ ගැනීමට අපට සිදු වී ඇත.

ක්‍රීඩාවට ජෝතිෂ්‍යය ඈඳා ගැනීම

       පෙරදිග සංස්කෘතිකාංග වශයෙන් සැලකෙන පොරපොල් ගැසීම - අං ඇදීම - එල්ලේ ගැසීම වැනි අපේ පැරණි ක්‍රීඩා තරඟ වලදී දෙපිරිසක් අතරින් ජයග්‍රහණය තමන්ට ලබා ගැනීම සඳහා නැකැත් ගුරුපදේශ අනුගමනය කළ ආකාරයන් පොත්පත් වල මැනවින් සඳහන් වේ. දෙවියන් උදෙසා කරණ අංඇදීම වැනි ක්‍රීඩා වලදී අඟ කපා ගැනීමේ ඉතා බලගතු නැකැත් ගුරු මුෂ්ටි පිළිබඳව ඉතා සාර්ථක අභ්‍යාසයන් පොත්පත් වල සඳහන්ය. ජය පිට ජය හත් වැනි වතාවටත් ජය ලබා ගත හැකි දුර්ලභ ගණයේ ගණිත සිද්ධාන්ත යොදා ගෙන තරඟ ජය ගන්නා ආකාරයන් අපේ නූතණ පරපුරට අහිමි වී ඇත්තේ ඊට අවශ්‍යය දැනුමැත්තන් නොමැති වීම නිසාය. යම් යම් තැන් වලදී ඉතා පහසුවෙන්ම තමන්ගේ කටයුතු වලට නැකැත් යොදා ගනිමින් තමන් ඉදිරියේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට හැකියාවක් තිබියදී පිට පිටම කඳුලත් - දුකත් තුරුළු කොට පරාජයට පත් වීම කොයි තරම් අවාසනාවන්ත දෙයක්ද ?

නැකැත් හා මුහුර්ථ

      නැකැත වූ කලී මුහුර්ථ නම් වේ. මුහුර්ථයක ප්‍රමාණයන් මොහොතකි. මෙය කාලය අනුව තත්පර 20 කටත් අඩු ප්‍රමාණයකි. ඉතා අවබෝධයෙන් හා සංවිධානාත්මකව ලබා ගත යුතු නැකැත් මුහුර්ථයක් වූ කළී තම කටයුත්ත ජයග්‍රහණය කරා මෙහෙය විය හැකි බලගතු විශ්ව ශක්තියකි. එබන්ඳක් යම් යම් කටයුතු සඳහා කලාතුරකින් යෙදෙන අතර සාමාන්‍ය කටයුතු වලදී නිරන්තරයෙන්ම ලබා ගත හැකි ශක්ති විශේෂයක්ද වේ. ගමනට - බිමනට- යුද්ධයට - සටනට විභාගයට වශයෙන් ඕනෑම තීරණාත්මක අවස්ථාවකදී යොදා ගත හැකි නැකැත් මුහුර්ථ අද දවසේදී ක්‍රියාත්මක වන්නේ ඉතා කලාතුරකින් බව පෙනේ.

දැන උගත්කම් අනුව වැඩ

      තම තමන් පොත පතින් හෝ පන්ති කාමරයකදී හෝ ඇසු දුටු ආකාරයෙන් නැකැත් මුහුර්ථ පිළියෙල කොට දෙන ගුරු භවතුන් අප්‍රමාණය. නැකැත් සුද්ධිය පවතින දිනයක් පංචාංග ලිතෙන් තෝරා ගෙන රාහු කාලය මඟහරවා ගෙන හොඳ හෝරාවක් හා පංචම කාල හෝරාවක්ද ඊට සම්බන්ධ කොට තම කාරණාව ඉටු කර දෙන ගුරු භවතුන් මුහුර්ථ පිළිබඳව දන්නා අවස්ථාවන් දකින්නට නැත. මේ වූකලී යුගයෙහි අවාසනාව හැර වෙන කුමක්ද ? නැකැත් මුහුර්ථයක බලය රාමසැරයක් මෙන් බලගතුය. නැකැත් මුහුර්ථයේ වේලාවන් ගමෙන් ගමට තැනින් තැනට වෙනස් වේ.

 කේවල් කිරීම් හා හෙලා දැකීම්

      නැකැත් වලට ද ජෝතිෂ්‍යයටද අපේ සංස්කෘතික උරුමයන් වලටද සිනාසෙන ජන කොටසක් සිටිති. නූතන විද්‍යාත්මක ක්‍රමවේදයක් සමඟ මේ අපේ දේවල් හෑල්ලුවට ලක් කරන ඔවුන් මේවා යල්පැන ගිය බමුණු මත ලෙසට හෙලා දකිති. මේ නොදන්නාකම් සහිත සමාජ පසුබිමක් තුල ගතානුගතිකව කරන්නන් වාලේ ඇද ගෙන යන ජෝතිෂ්‍යවේදීන් නිසා මේවා තව තවත් අගාදයටම පත් වෙති. ජෝතිෂ්‍යයවේදය හරි විදිහට පෙළ ගස්වා සමාජ ගත කිරීමට බලවතුන් තුල පවත්නා කුසීත බව නිසා අනාගතයෙහි මේ මහා විෂය ධාරාව අතුරුදහන් වී යාමට ඉඩකඩ පවතී.

කෙළිබිමේ ජය පෙළගැස්වීම

  ක්‍රීඩකයෙකුගේ හඳහන පිළිබඳව හොඳින් අධ්‍යයනය කොට ඔහු ජයග්‍රහණය සඳහා පෙළ ගැස්වීමේ හා දැනුවත් කිරීමේ ක්‍රමවේදයන් සකස් කිරිම ඉතා වැදගත් කාරණාවකි. මේ වූ කලී අපේ සංස්කෘතික උරුමයන් මඟින් අපේ අනන්‍යතාවයන් ගොඩනඟා ගන්නා ඉතා ගෞරවනීය ක්‍රමවේදයකි. ජයග්‍රහණය වූ කලී ක්‍රීඩාවේ සුන්දර අත් දැකීමකි. ඒ වෙනුවට පරාජයේ අවමානය දිගින් දිගටම ලබා ගැනිම අපේ නොහැකියාවන් හා අදක්ෂකම හා අවාසනාව නිරූපනය කරන සාධක විදිහට සැලකේ. ගරු ක්‍රීඩා ඇමතිතුමනි, ඔබතුමන්ගේ පරිණත දක්ෂතාව මඟින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සඳහා යහපත් අඩිතාලමක් සකස් කිරීම සඳහා මේ ගැන කටයුතු කළ මැනව.

                      ජෝතිෂ්‍යවේදී

කොත්මලේ සෙනෙවිරත්න

ඇසට නොපෙනෙන මානය අපගේ නවතම ලිපිය කියවන්න

 

 
   

 

‹ පෙර 1 පසු ›