අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

විශේෂ ලිපි

බොරදියේ මාළු බාන උපුල් ශාන්ත සන්නස්ගල                                                     1 වන කොටස

                                                                                 2 කොටස කියවන්න මෙතනින් පිවිසෙන්න

      මහා ගංවතුරක් සහ කුණාටුවක් බඳු ඉකුත් ජනාධිපතිවරණයේදී රාජපක්ෂ ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනීසිටි ජෝතිෂ්‍යය වේදීන්ට පන්න පන්නා පහර දීමට තැත් කරණ වීරයන් අතර සන්නස්ගල මහතාටද හිමි වන්නේ විශේෂ තැනකි. එතුමා තමන්ගේ සකල මහා දැනුම් සම්භාරයම ප්‍රදර්ශනය කරමින් ජෝතිෂයවේදීන් දඩයම් කිරීමේ මහා සටනක් අරඹා ඇති අතර තැලෙන යකඩයට පස්ස උඩ දමාගෙන තැලීමේ කලාව එතුමා මැනවින් ප්‍රගුණ කර ඇති ආකාරය පසුගියදා එක්තරා රූපවාහිනී වැඩසටහනක් මගින් මනාව සනාථ කලේය. ජෝතිෂය විෂය ධාරාව ගැන ඉස්පිල්ලක් තරම දෙයක් වත් නොදැන චිරාත් කාලයක් මුළුල්ලේ මේ මිහිපිට පවතින අද්විතීය විද්වත් දර්ශණයක් අමු අමුවේ තනි තීන්දුවෙන් කෙලෙසා අකා මකා දැමීමට එතුමා දරණ නිෂපල උත්සාහය තුලින් සමාජයට එතුමාගේ අභ්‍යන්තරය ගැන අවබෝධකර ගැනීමට හොඳම හොඳ අවස්ථාවක් සලසා දී ඇත.

     විදාගම රාහුල ආදී මහා සංඝ පීතෘවරුන්ද මෑත කාලීන යුග පුරුෂයන් සේ සැලකෙන අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී මාහිමිපාණන් මෙන්ම අති පූජ්‍ය බෙල්ලන ඥාණවිමලාදී මහා තෙරණුවන්ද වශයෙන් කියා අවසන් කල නොහැකි ලොව අග්‍රගණ්‍ය මහා වියතුන්ද අනුගමනය කල මේ මහා විෂය ධාරාව ප්‍රත්‍යක්ෂ කරගත් කිසිම බුද්ධිමතෙක් ප්‍රතික්ෂේප නොකල විශේෂ වූ දර්ශනයක් අමු අමුවේ කෙලෙසා ඝාතනය කර දැමීමට මේ තරම් සැහැසිවීම ගැන සන්නස්ගල මහතානන් පිළිබඳව අප තුල පහළ වන්නේ විමතියකි. සාතිශය සංවේගයකි.

    සඟ-වෙද-ගුරු -ගොවි කම්කරුවන් මෙන්ම විවිධ වෘත්තීය වේදීන්ද -කලාකරුවන්ද - ධීවරයන්ද - පතල් කරුවන්ද - ත්‍රීවීල් කරුවන් මෙන්ම බස් හිමියන්ද වශයෙන් බෙදීගිය සමාජයක් තුල ජෝතිෂ්‍යවේදියාට ද තමන්ගේ අභිමතය දක්වන පරිදි පක්ෂය හෝ නායකයා හෝ කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට නිගරු කරණ ක්‍රියාවලියක් තුල සන්නස්ගල මහත්මයා මෙහිදී බරපතල මැරවරයෙකුගේ භූමිකාවක් ඉදිරිපත් නොකරන්නේද යන්න කරුණාකර පැහැදිලි කර දෙනු මැනවි.

     කලාකාරයෙකු තමන්ගේ ජනප්‍රිය වූ ගීතයක් ගායනා කොට දේශපාලන වේදිකාවක් උද්දාමයට පත් කිරීම මෙන්ම ධනපතියෙකු තමන්ගේ වත්කමට සරිලන මිල මුදල් වැය කොට වේදිකාවක් ඉදිකරදීම වැනි ත්‍යගශීලී ක්‍රියාදාමයක් මෙන්ම ගස්නඟින්නට දක්ෂ තරුණයින් කොඩිවැල් එල්ලා තමන්ගේ සහයෝගය පළකරණා ආකාරයෙන්ම හෝටල් හිමියෙකු තම ආපන ශාලාවේ පිළියෙල කරණ ලද රස ආහාර පිරිනමා තමන් අනුමත කල දේශපාලන දර්ශනයට පක්ෂග්‍රාහීත්වය පළකිරීමද සන්නස්ගල දර්ශනය අනුව සපුරා තහනම් දෙයක් බවට පසුගියදා අනාවරණය කලේය.

     පැහැදිළිවම පැමිණ  සිටි සියල්ලන් එකම වේදිකාවකට පැමිණ තම තමන්ගේ අදහස් උදහස් තමන්ට හුරු පුරුදු දර්ශණය තුලින් පැහැදිලිකර දීම අපරාධයක් තරමටම බරපතල කාරණාවක් බව සන්නස්ගල මහතාගේ විශ්වාසය බව පෙනේ.

      ජෝතිෂයවේදියෙකු හෝ ව්‍යාපාරිකයෙකු හෝ කොමිස් - පගාකාරයෙකු හෝ ඔවුනොවුන්ගේ සමාජ විරොධී යම් ක්‍රියාදාමයන් ඇත්නම් ඒවා සියල්ල අණාවරණය කිරීමේ දේශපාලන හෝ සමාජීය මෙහෙවරකට සම්බන්ධවීම වරදක් නැත. හොරකම - මැරකම - දුරාචාරය වැනි අශිලාචාර ක්‍රියාදාමයන් විවේචනය කිරීමේ අයිතිය හා යුතුකම ඕනෑම පුරවැසියෙකුට හිමිවේ. දේශපාලනීයකරණය වූ සමාජ වටපිටාවක් තුල අනාවැකියක් වැරැද්දූ පලියට ඔවුන් දඬුක‍‍fඳ් ගසා දැමීමට තරම් සැහැසිවීමේ සදාචාරාත්මක අයිතිය සන්නස්ගල මැතිතුමන්ට ලබා දුන්නේ කවුරුන්ද?

     සිද්ධාර්ථ කුමාර‍යාගේ උපත පිළිබඳව එදා සුද්ධෝදන රජතුමන්  අභියසට පැමිණි පුරෝහිත බමුණන් සයදෙනෙකු එකහෙලාම කියා සිටියේ සිදුහත් කුමරුන් ස්ථිර වශයෙන්ම සක්විති ර‍ජෙකු වන බවය. නමුත් ඔවුන්ගෙන් ළාබාලම වූ කොණ්ඩඤ්ඤ නම් බමුණා ප්‍රකාශ කලේ සිදුහත් කුමාරයා මතු බුද්ධත්වයට පත් වන බවකි.

     තමන්ට වඩා වැඩිහිටි බමුණන් සයදෙනෙකුට එරෙහිව කොණ්ඩඤ්ඤ නම්  බමුණා එදා ප්‍රකාශ කල අනාවැකිය සත්‍ය වූ බවට එදා පටන් අද දක්වාම සමස්ථ බෞද්ධ සමාජයේම නිසඟ හා ස්ථිර වූ පිළිගැනීමක් බවට පත්විය.

     නමුත් මෙහිදී සිදුවී ඇත්තේ ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ සංසිද්ධියකි. ප්‍රයෝගික වශයෙන් එදා පටන්ම මේ මිහිපිට සක්විති රාජධානියක් පිළිබඳව කොහේවත් සඳහන් නොවීම ගැන කවුරුත් යමක් ප්‍රකාශ කලේ නැත. සක්විති රාජධානිය වූ කලී සර්වඥතා ඥාණයෙන් ලෝකයට නිර්වාණය හඳුන්වා දුන් බුද්ධරාජ්‍යයම බව මෙතෙක් කිසිවෙකු නිර්වචනය කරන්නට පෙලඹුනේ නැත.

       ජෝතිෂ්‍ය වූ කලී අපේ සංස්කෘතිය හා බද්ධ වූ ගැඹුරු දර්ශනයකි.ඒ සදාතනික පැවැත්ම බිද හෙලීම සඳහා යුග පුරුෂයන් බවට පත් වීමට වලිකන බොහෝ දෙනෙකු වරින් වර ඉදිරිපත් වුවත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන් නිහඬ වෙති. වික්ෂිප්ත වෙති . පලා යති.

     ජෝතිෂ්‍ය විද්‍යාවක් නොවන බවට තර්ක විතර්ක හා කමටහන් දෙමින් බටහිරට ගැතිවූ දර්ශනයක් ගැන කියාපාන සන්නස්ගල මහතා බෞද්ධ දර්ශනයේ විද්‍යාව ඇත්තේ කොතැනද යන්න නොදන්නා බවක් ප්‍රදර්ශනය කොට ඇත. චක්ඛුං උදපාදි - ඥාණං උදපාදි - පඤ්ඤා උදපාදි - විජ්ජා උදපාදී - ආලෝකෝ උදපාදි යනුවෙන් විස්තර කොට දැක්වෙන බුද්ධ දේශනාවේ අන්තර්ගතයන් පිළිබඳව විස්තර ‍කොට දැක්වෙන්නේ මොනවාද යන්න අධ්‍යනය කොට අපත් සමඟ විවාදයකට එලඹෙන ලෙස මෙයින් එතුමන්ට ආරාධන කොට ප්‍රකාශ කරමි.

     දේශපාලන විද්‍යාව සරසවි විෂය ධාරාවේ ප්‍රධාන මුලාශ්‍රයකි. නමුත් විද්‍යාවට අනුව දේශපාලනයේ නියැලෙන්නන් සිටින්නේ කුමන රටකද යන්න සන්නස්ගලයන් අපට පෙන්වා දිය යුතුය.ජෝතිෂ්‍ය විද්‍යාවකි. ඒ බව මූලික පොත පතෙහි සඳහන් වන්නේ සිද්ධාන්ත වශයෙනි. සූර්ය සිද්ධාන්තය. බ්‍රහ්ම සිද්ධාන්තය වැනි විශ්ව සම්භාව්‍ය කෘතීන් විද්‍යාත්මක නොවන බවට සන්නස්ගලයන්ට කරුණූ කාරණා ඉදිරිපත් කල හැකිද?

       ජෝතිෂ්‍යයෙහි ‍හෝරා  - ස්කන්ධ - සංහිතා යනුවෙන් විෂය ධාරාවන් තුනකට බෙදා දැක්වේ. හෝරා කොටස තුල පවතින්නේ ගණිතමය සූත්‍ර ඇතුලත් කරුණු කාරණා වේ. ඇමරිකාවේ නාසා ආයතනය මගින් පරිඝණක තාක්ෂණය හා තාක්ෂණික මෙවලම් ආශ්‍රිත ක්‍රියාදාමයන් අරඹන්නට පෙර චිරාත් කාලයකට පෙර පටන් ජෝතිෂ්‍ය පවතින විෂය ධාරාවකි. බුදුන් දවස බමුණන්ට කේන්ද්‍ර සාදා පිළියෙල කර ගැනීමට නාසා ආයතනය මගින් ඉමහත් මෙහෙවරක් සිදූ වූ බවක් සන්නස්ගලයන් විශ්වාස කරන්නේද යන්න අපට පැහැදිළි කල යුතුය.

     ජෝතිෂ්‍ය විෂය ධාරාව එක්තරා බලගතු විටමිනයකට සමාන කොට සැලකිය හැකිය. එනම් අවශ්‍ය අයට පමණක් භාවිතා කල යුතු අනුගමනය කල යුතු විෂය සංකල්පයකි.  හැම කෙනෙකුටම විටමින් අවශ්‍ය නොවන බව ප්‍රකට වෛද්‍ය නිගමනයක් වේ. එසේම තම ජීවිතය හරහා බලපාන අදිසි පීඩාකාරී අවස්ථාවන් සමනය කොට ගැනීමට මෙන්ම වචනයේ පරිසමාප්ති අර්ථයෙන් ප්‍රකාශ කල නොහැකි තරමේ බොහෝ පුළුල් වූ මෙහෙවරයන් ඒ තුල අන්තර්ගත වී ඇත.

      නුහුරු නුපුරුදු ආහාර බෙහෙත් පාවිච්චි කොට ඇලජික් තත්වයට පත් වූ අය ඒවා නිර්මාණය කල විද්‍යාඥයින්ට පරිභව කිරීම වූ කලී සිංහලයට අනුව කැකිල්ලේ තීන්දුවකට සමානය. දැනුමැත්තන් පමණ ඉක්මවා තමන්ට නුපුරුදු දේවල් නොවළදති. කිසිම දෙයක් නොදැන වහ කදුරු කර ගන්නෝ කවුරුන්ද යන්න අපේ ජනකථා සාහිත්‍යයෙහි මනා කොට විස්තර කථා පුවත් සඳහන් වේ.

      විළිරුදාවෙන් පෙළනෙ ගැබිණියක් සදහා වින්නඹුවක් කැඳවීමට නැකත් බලා බලා කල්මරන බමුණෙකුට දේශණා කොට වදාළ ධර්මයේද හතර වටින් කළුවලාවෙන් පිරුණු එක් සැදෑ‍වක අහුලාගත් අස් වැන්න ගෙට ගැනීමට නැකත් බල බලා සිටින මුග්ධ ගොවියාට ‍දේශණා කොට වදාළ ධර්මයද සියල්ල සූත්‍ර ධර්මතා ලෙසට සැලකේ. ඒ දහම් පණිවුඩ කාලීනව තම තමන්ගේ ජීවිත හා බද්ධ කොට ගැනීමට පණ්ඩිතයින් ක්‍රියා කරති .

කොටි සත සහස්සේසු - චක්ක වාලේසු දේවතා

යස්සානං පතිගණ්හන්තු - යඥච වේසාලියංපුරේ

රෝගා මනුස්ස දුබ්භික්ඛ- සම්භූතා තිවිධං භයං

ඛිප්ප මන්තර ඨාපේසි  - පරිත්තංතං භණාමහේ

     එදා සර්වඥයින් වහ‍න්සේ විසාලා මහනුවර රෝග - අමනුෂ්‍ය - දුර්භික්ෂ යන ත්‍රිවිධ උපද්‍රවයන් සමනය කිරීම උදෙසා රතන සූත්‍රය දේශනා කොට වදාළ බව ඉහත සඳහන් ප්‍රරාම්භක සූත්‍ර පාඨයෙහි සඳහන් වේ . සිංහල භාෂාවේ ස්වර අක්ෂරාදී සංඥාවන් උපයෝගි කොට ගෙන යෝනි නිර්මාණය  කර ගැනීමද - යෝනි කූටයන් එකිනෙක නිසි පරිදි ගණ සංයෝග කොට පරාගණය කිරීමෙන් සූත්‍ර නිර්මාණය කර ගැනීමද ගබ්ද විද්‍යාත්මක ක්‍රියාදාමයන් වේ .ගබ්ද විද්‍යාව නූතන අධ්‍යාපන කේෂේත්‍රය තුල නන්නාඳුනන පුරාණ විෂය කේෂේත්‍රයන්ට අයත් ඉගැන්වීමකි.

       බුදුන්වහන්සේ ජෝතිෂ්‍ය ශාස්ත්‍රය ප්‍රතික්ෂේප කල බව දක්වනනේ කුමන පදනමකින්ද යන්න සන්නස්ගලයන් පාඨක ජනතාවට සපුරා විස්තර කල යුතුය. වරෙක රාහුගේ ග්‍රහණයෙන් හිරු ගලවා ගැනීම උදෙසා බන්ධනය කොට වදාළ සූර්ය පිරිතද  චන්ද්‍රයා රාහුගේ ග්‍රහණයෙන් ගලවා ගෙන චන්ද්‍රයාගේ නිසර්ග සමස් ගුණය ලබා ගැනීම සඳහා දේශණා කොට වදාළ චන්ද්‍ර පිරිතද හා ඊට අයත් අර්ථ විග්‍රහයක්ද කියවා බලනු මැනවි. පිරිත් සූත්‍ර යනු පේ කල යුතු නොහොත් ජප කල යුතු ධර්ම භාවිතයන් බව මහ පිරිත් පොත කියවන බෞද්ධයින් ප්‍රත්‍යක්ෂ කොට ගත් සත්‍යයක් වේ.

       බුදුන්වහන්සේ උපත ලබා ඇත්තේ කටක ලග්නයෙන්ය යන්න කවුරුත් දන්නා කාරණාවකි. ජෝතිෂය හෝඩිය කියවන විට කටක ලග්නයට අධිපති වන්නේ චන්ද්‍රයාය යන්න ඉගැන්වේ. නක්ෂත්‍ර හෝඩියේ සඳහන් දේවල් සාමාන්‍ය ගැමියන් අතර පවා ප්‍රචලිත වූ සාමාන්‍යය කරණාවන් වේ.

       බුදුන්වහන්සේ ලග්නාධිපති සඳුගේ බැබළීම ඇති සෑම පුර පසලොස්වක පෝය දිනකදීම බුද්ධත්වයට අදාළ වූ වැදගත් සූත්‍ර ධර්මයන් දේශණා කොට වදාළේ කවර හේතුවකටද යන්න යම් තැනක පැහැදිළි කොට දක්වා නැත. නමුත් නැකත් ඇදුරන්ට මෙය ගැටළුවක් නොවේ . සඳුගේ බලවත් වීම හා සුබ නැකත් පිලියෙල කිරීම අතර ඇත්තේ සදාතනික බද්ධ වූ සම්බන්ධතාවකි. එහෙයින්ම සූත්‍රාවසානයන්හි පිරිත් භාවිතා කරන්නන් නක්ඛත්ත යක්ඛ භූතානං පාපග්‍රහ නිවාරණා පරිත්තස්සානු භාවේන හන්තු තේසං උපද්දවේ ආදී වශයෙන් පිරිත් පාඨයන් පේ කරති.

       උට්ඨාන වීර්යයෙන් කටයුතු වල නියැලෙන අයට ජෝතිෂ්‍ය අහවල් එහෙකටද යනුවෙන් සන්නස්ගල මහතා ප්‍රශ්න කරයි. බො‍හෝ මනෝ විද්‍යාඥයින් ව‍ශ‍යෙන් පෙනී සිටින අය ස්වයංඅභි‍ප්‍රේරණය නම් වූ පෙත්තක් පාවිච්චි කිරීමට උපදෙස් දෙන ආකාරය විවිධ ලිපි ලේඛන වලින් මා කියවා ඇත. ඔවුනොවුන්ගේ ජානමය ක්‍රියාවලීන්හි පෞරුෂයෙහි අල්ප මාත්‍ර වූ ගුණාංග හෝ නොමැති අය අපට කේන්ද්‍ර තුලින් අණාවරණය කර ගත හැකිය. එබන්දන්ට අර කී පෙත්ත කොතෙක් දුරට ගැලපේද යන්න සොයා බැලීමට සන්නස්ගලයන්ට තවත් කාලයක් ගත වනු ඇත.

       රාජයෝග මෙන්ම දුර්දාන්ත යෝගයන්ද කේන්ද්‍ර තුල අප්‍රමාණව සටහන් වී ඇත. ඒවා කියවා බලා සියල්ල සපුරා තහවුරු කර ගත් විට බොහෝ අපල පීඩා තත්වයන් අවබෝධය තුලින්ම සමනය කර ගත හැකිය. ඒවා ගැන නොසලකා හැර හෝ ඒවාට පරිභව කිරීම හෝ නොදන්නාකම හෝ තමන්ගේ අභියෝග ජය ගැනීමට නිසි විසඳුමක් නොවේ. බුදුන් වහන්සේ අනුගමනය කල ක්‍රියා පිළිවෙතට අනුව දුක්ඛ-සත්‍ය යනු දුක හඳුනා ගැනීම වේ . ඒ වූ කලී චතුර් ආර්ය සත්‍යයන්ගේ ප්‍රාරම්භය වේ.සද්ධර්මයෙහි එකී පණිවිඩය තුල අන්තර්ගතවී ඇත්තේ කේන්ද්‍ර පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීමක්ද යන්න එතුමන් අපට පැහැදිළි කල යුතුය.

      ජෝතිෂ්‍යවේදියෙකුගේ අනාවැකියන් ග්‍රහණය කර ගැනීම එක් එක් අය තමන් සතු කැමැත්ත පරිදි සිදුවිය යුතුය. පංචශීලය කැඩූ ගිහියෙක් ආගමෙන් නෙරපා හැරීමක් සිදුනොවේ. සමාජගතව දෝළනය  වන සමාජ විද්‍යාත්මක ක්‍රියාදාමයන්ට සමගාමීව ජෝතිෂ්‍ය හා ජෝතිෂ්‍යවේදියා තුලද තමන් කැමති ආගමක් ඇදහීමට තමන් කැමති නායකයෙක් තෝරා ගැනීමේ අයිතියද ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. එම අයිතියට අභියෝග කිරීම අමානුෂික වූ පිළිකුල් සහගත කටයුත්තකි. මේ සත්‍යතාවන් තහවුරු කර ගෙන සන්නස්ගලයන් කැමති පරිදි යථා පරිදි විවාදාත්මක අවස්ථාවකට පැමිණිය යුතු නම් ඊට සරිලන පරිදි කටයුතු කරණූ මැනවි.

     මහසයුර යම්සේද ජෝතිෂ්‍ය විෂය ධාරාවේ ද පරක්තෙරක් නොපෙනේ. මහ සයුර තරණය කිරීමට පිවිසෙන අයට මිස ගොඩබිම සිටින කෙනෙකුට ඒ ගැන කවර කථාද? බටහිර විද්‍යාවේ පරිවර්ථනයන් නිරන්තරයෙන්ම සිදු වෙමින් පවතී. මතුද එහි කෙලවරක් නැත. නමුත් මේ මහා විශ්වය හා සම්බන්ධ වූ සිද්ධාන්තගත පරම සත්‍යයන් ගවේශණය කොට එයම යළි යලිත් තහවුරු කර  ගැනීම විනා ඉන් එහාට ඒවා සංවර්ධනය කිරීමට හෝ වෙනස් කිරීමට හෝ බුදු කෙනෙකුටවත් වෙනත් කෙනෙකුටවත් හැකියාවක් නොලැබෙනු ඇත.

     මේ මහා මන්දාකිණියේ සැඟවුනු රහස් ගවේෂණය කිරීම තාරකා විද්‍යාවට අයත් කාර්‍යභාරයකි. ජෝතිෂ්‍යය ගොඩනැඟී ඇත්තේ මේ මහ පොළවට අයත් වායුගෝළයෙන් ආවරණය වන ප්‍රදේශ වලට පමණකි. අභ්‍යවකාශයත් ග්‍රහ ලෝක හා අවශේෂ ආකාශ වස්තුන්ද අපේ වායුගෝලය කරා ගෙන එනු ලබන ශක්තිය හා බලය සඳුගෙන් ආවරණය වන ආවාටය මඟින් රාශි චක්‍රයක් බවට පත් කරයි. රාහු -කේතු වශයෙන් දැක්වෙන්නේ චන්ද්‍රයාගේ ගමන් මාර්ගයත් - සූර්යාගේ ගමන් මාර්ගයත් කැපී යන ක්‍රාන්තිවලයෙහි උතුර හා දකුණු සන්ධිස්ථාන දෙකයි. එය වායුගෝලයෙහි ධන හා සෘණ ආවේග නිකුත් කරණ ස්ථාන වශයෙන් සැලකේ.

        උපුල් ශාන්ත සන්නස්ගලයන්ට ජෝතිෂ්‍යය මතවාදය නොහොත් දර්ශණය බිඳ හෙළිය හැකිද? භාරතයේ බිහිවූ මෑත කාලීන විද්වතෙකු වන මහාචාර්යය ක්‍රිෂ්ණ මුර්‍ති පඬිවරයානන්ගේ සුවිශාල වූ නිර්මාණ කරණයන්ට මතුවට කුමක් සිදුවේද? සන්නස්ගලයන් කියන දේ පිළිබඳව අප විමසිල්ලෙන් බලා සි‍ටින්නෙමු.

 

 

                                                                                                කොත්මලේ සෙනෙවිරත්න

 

                                                                                                                      මුල් පිටුවට

 
   

 

‹ පෙර 1 2 පසු ›