අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

ජොතිෂය

පරිඝණකය හා ජෝතිෂ්‍ය ශාස්ත්‍රය

        පරිඝණකයෙන් ජෝතිෂ්‍යය කටයුතු කල හැකිද යන ප්‍රශ්නය සමාජයේ මුල් බැස ගත් ගැටළුවකි. බොහෝ තැන්වල බොහෝ දෙනෙක් බිස්නස් එකක් තරමට ප්‍රචාරක වැඩපිළිවෙල් යොදා ගනිමින් හරිහම්බ කර ගැනීමට දරණ මෙකී පටු උත්සාහයන් පරාජයට පත් කල යුතුය. ඒ සඳහා සමාජය දැනුවත් කිරීමේ හරිහමන් ක්‍රමවේදයක් නොමැති වීම නිසා බොරු කාරයින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා තත්වයකට පත් වී ඇත.

       පරිඝණකය යනු ගණිතමය මෙවලමක් වශයෙන් භාවිත වන උපකරණයකි. ජෝතිෂ්‍යයෙහි ගණිතමය ක්‍රමවේදයන්ට සම්බන්ධ වූ මෙහෙයුම් කටයුතු පමණක් පරිඝණකයක් මගින් ඉටු කර ගැනීමට හැකියාවක් ලැබේ .

        නූතන පරිඝණක කේෂේත්‍රයෙහි අදින් වසර දස දහස් ගණනකට ආපස්සටද ඉදිරියටද ග්‍රහයින්ගේ සියළු තොරතුරු අතුලත් කොට ඇත. මතු බුදුබව ලැබීමට පෙරුම්පුරණ බෝසත් වරුන්ගේ ජන්ම පත්‍ර පවා ඒ තුලින් ලබා ගැනීමේ හැකියාවක් ඇත. පරිඝණකය ආශ්‍රිත ගණිතමය ක්‍රියාවලීන් ඉතා පැහැදිලිය. විද්‍යාත්මකය. පරිඝණක ආධාරයෙන් කෙනෙකුගේ හඳහනක පිටපතක් ලබා ගැනීම අතිශයින්ම නිවැරදි ක්‍රියාවලියක් බවට හදුනා ගත හැක්කේ එකී පරිඝණකයට ඇතුලත් කොට ඇති දත්ත වල නිරවද්‍යය භාවය පදනම් කොට ගෙනය.

      මෙහිදී පරිඝණක ක්‍රියාකරුගේ ජෝතිෂ්‍ය විද්‍යාත්මක දැනුමද ඉතා වැදගත් වේ. ජෝතිෂ්‍යමය පරිභාෂිතය පිළීබඳව නොහඳුනන කෙනෙකුට එම විෂය තුලට ප්‍රවේශවීමේ හැකියාවක් නැත. එසේනම් පරිඝණකයෙන් කෙරෙන්නේ කවර නම් වූ කාර්යය භාරයක්ද යන්න පිළීබඳව සමාජය හොදින් දැනුවත් විය යුතුය.

     පරිඝණකයකින් ලබා ගන්නා කේන්ද්‍රයක අන්තර්ගත දත්ත ඒ ආකාරයෙන්ම පලාපල ප්‍රකාශ කිරීමට හෝ කිසිම ජෝතිෂ්‍ය කාරණාවකට යොදා ගැනීමේ හැකියාවක් නැත. එහි සඳහන්ව ඇත්තේ අදාළ අවස්ථාවේ පැවති අහස් සිතියම වේ.

     ඒවා ජන්ම කේන්ද්‍රයක් බවට සකස් කර ගැනීම සඳහා යොදා ගත හැකිය. පරිඝණක දත්ත යොදා ‍‍ගෙන කේන්ද්‍රයක් සකස් කර ගැනීම සඳහා ඒ පිළිබඳව පරිණත බවක් තිබිය යුතුවේ.

     බොහෝ විට පරිඝණක වල දත්ත පිහිටුවා ඇත්තේ අපරදිග සායන ග්‍රහස්ඵුට ක්‍රමයන්ට අනුව වේ . එනම් සායන හා නිරයන වශයෙන් භාවිත ගණිත ක්‍රමවේද දෙකක් පවතින අතර පෙරදිග රටවල භවිතා වන්නේ නිරයන ජෝතිෂ්‍ය ක්‍රමවේදයන් වේ.

    සායන හා නිරයන නම් වූ මෙකී ක්‍රමවේද කුමක්ද යන්න බොහෝ දෙනා නොහඳුනති.ඒ සඳහා අයනාංශක අඩුකර ගත යුතුය යන්න දැනගෙන සිටියත් අයනය යනු කුමක්ද යන්න තේරුම් ගත අය බහුල නොව්. අයනය යනු ඇලවීම නම් වේ .පෘතුවි ගෝලය අංශක 24 කට ආසන්න ප්‍රමාණයන් ඇලව පවතී. ඒ ඇලය වරින් වර වෙනස් වේ. එකී ඇලවීමේ ප්‍රමාණයට අනුගතව ග්‍රහයින්ගේ චලනයන් විස්තර කොට දැක්වේ . එම ප්‍රමාණයන් හඳුනා‍‍ගෙන ග්‍රහයින්ගේ විස්තර ලබා ගෙන ඒවා ජෝතිෂ්‍ය බෙදීම් අනුව හඳුනා ගැනීම සඳහා අදාළ ශිල්පියාට ශාස්ත්‍රීය අවබෝධයක් තිබිය යුතුය.

    පරිගණකයක් මගින් ලබා ගන්නා කේන්ද්‍ර පිටපතක් පිළිබඳව පලාපල විස්තර වාර්තාවක් පරිගණකයකින් ලබා ගැනීම වූ කලී නිවැරදී නොවු ලඝු ක්‍රමවෙදයකි. එනම් ඒ සඳහා පරිගණකය තුලට එම ආයතනය මගින් යම්කිසි දළ දත්ත ප්‍රමාණයක් ඇතුලත් කොට තිබිය යුතුය.

     ඒවා දළ වශයෙන් මෙයාකාර වේ. ඉරිදා - සඳුදා - අගහරුවාදා වශයෙන් ඒ ඒ දින වලට අදාල පලාපලද මේෂ - වෘෂභ - මිතුන ආදී වශයෙන් රාශි 12 ට අයත් පලාපලද අස්විද - බෙරණ - කැති වශයෙන් නැකැත් 27 අයත් පලාපද ආදී වශයෙන් එක් එක් බෙදීම් රටාවන් අනුව පලාපල විස්තර කරනු ලැබේ. නමුත් මේවා පලාපල නොවන අතර ඒවා එක් එක් දළ ආකල්පමය අවස්ථා වේ. මේ ආකාර පලාපල සියයට සීයක්ම සාවද්‍ය වන අවස්ථාද දක්නට ලැබේ.

    නිවැරදි හඳහනක් සකස්කොට ගෙන ඒ තුලින් ජන්මියාගේ උපතේ පටන් පැවත ගෙන එන කර්ම වේගයන් හඳුනා ගැනීම වූ කලී දීර්ඝ කාලයක් වෙහෙස මහන්සි වී උගත යුතු විෂය ධාරාවකි. එබන්දක් පරිගණකයට හෝ ලොව පවත්නා කිසිම උපකරණයකට හෝ ඉර හඳ පවතින තුරු අතුලත් කළ නොහැකි බුද්ධිමය ක්‍රියාවලියකි. 

      කේන්ද්‍රයක පලාපල විනිශ්චය කිරීමේදී ඊට ජෝතිෂ්‍ය විද්‍යාත්මක දැනීම පමණක්ම යොදා ගැනීමද ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා විශ්ව දැනුම නොහත් බහුශ්‍රැත බවක් තිබීම අනිවාර්යය වේ.

    බුද්ධිය පිළිබඳව විනිශ්චය කර ගැනීම සඳහා ම‍නෝවිද්‍යාත්මක දැනීමක්ද ශරීර සෞඛ්‍ය තත්වයන් අධ්‍යයනය කිරීම සඳහා වෛද්‍ය ශාස්ත්‍රිය අවබෝධයක්ද ගෘහ ජීවිතය පිළිබඳව සොයා බැලීම සඳහා සමාජ විද්‍යාත්මක හා ධර්මාවබෝධයද ආදී වශයෙන් ජෝතිෂ්‍ය වේදීයාට බො‍‍හෝ කොට ඇසු පිරූ තැන් තිබිය යුතුය.

    දීර්ඝ කාලයක් මුළුල්ලේ කේන්ද්‍ර පරිශිලනයෙන් හා විවිධ අය පිළිබඳව කරුණු එක් රැස් කිරීමෙන්ද අත් දැකීම් හා ගුරු උපදේශ වැනි බොහෝ කරුණු කාරණා පිළිබඳව ජෝතිෂ්‍යවේදීයා පරිණත විය යුතුය.

     මී‍ට උදාහරණයක් වශයෙන් ඉතා මෑතකදී එක්තරා පුංචි පවුලකට මුහුණ දීමට සිදු වූ ගැටළුවක් පිළිබඳව සඳහන් කළ හැකිය. පසු ගිය කාලයේ එක්තරා උදෑසනක එක් තරුණ යුවලක් දරුවන් දෙදෙනෙකුද වඩාගෙන මා සොයා පැමිණි අවස්ථාවකි. ඔවුන් මා වෙත බුලත් හුරුල්ලක් පිළිගන්නවා තමන්ට ගෙට ගෙවදීමකට සුදුසු නැකතක් අද දවස සඳහා සකස් කර දෙන ලෙස ඉල්ලා සිටියහ.

     එදා සිකුරාදාවකි. මා ඔවුන් දෙස විමසිල්ලෙන් බලා ඇයි මේ කලබලෙන් වගේ නැකැත් ඉල්ලන්නේ? ගේ කොහෙද තියෙන්නේ ? හදල ඉවරද? අළුත් ගෙයක්ද ? පරණ ගෙයක්ද? ඇයි ටිකක් කලින්ආවේ නැත්තේ? ආදී වශයෙන් ප්‍රශ්ණ කීපයක්ම අසා සිටියෙමි.

     ඊට හේතුව ඔවුන්  ඒ වෙලාවේ සිටියේ යම් කිසි සිත් තැවුලකින් බව මට පෙනී ගියේය. ස්ත්‍රිය හරිහැටි හිස පීරන්නේවත් නැතිව පැමිණිම හා ඔවුන් දැඩි විඩාබර ගතියකින්ද යුක්ත නිසා මා මේ ගැන අසා සිටියෙමි.

     ඇත්ත වශයෙන්ම මා සිතා සිටි දෙය හරියටම හරිය. ඔවුන් මවිපියන් හා සහෝදරයින් සමග දබර වී සිටි අවස්ථාවක් බව දැන ගන්නට ලැබිණි. අඩක් නිම කරණ ලද ගෙට ගෙවදී කාගෙන්වත් හිරිහැරයක් නැතිව ඉතිරි ටික හදා ගැනීමට හැකි බව ඔවුන් පැවසූහ.

     මෙහිදී මා  ඔවුන්ට ඉතා කරුණාවෙන් කරුණු පැහැදිලි කර දුනිමි. අමනාපකම් - මතභේද- ලෙඩ රෝග - බරපතල සිත්තැවුල් සහගත තත්වයන් ආදිය යොදා ගෙන කවරදාවත් මෙබඳු වැදගත් කටයුතු වල නිරත නොවිය යුතුය. ආපසු‍ වෙන දවසක හෝ දෙමව්පියන් කරා ගොස් ඔවුන්ට වැඳ සමාව ගෙන ඔවුන්ගේ ආහිර්වාදය මැද අදාල කටයුත්තෙහි නිරත වන ලෙස තරයේ අවවාද කොට ඔවුන්ගේ ගුරු පඬුරුද ආපසු දී පිටත් කළෙමි.

      මේ සිද්ධියෙන් මා පැහැදිලි කර දෙන්නේ ජෝතිෂ්‍ය වේදියෙකු තුල පැවතිය යුතු සද්භාවයන් මගින්ද ඔවුන් පරිණත විය යුතු බවය.

     පරිගණකය වූ කලී උපකරණයකි. පංචේන්ද්‍රයන් නොමැති ලෝහමය උපකරණයකට මිනිසාගේ ත්‍රිකාලය නිගමනය කිරීම කල හැකිද යන්න විශ්වාස කිරීම නොදන්නා කමක් බව මෙයින් තහවුරු වේ.

ජෝතිෂ්‍ය ශාස්ත්‍රඥ - කොත්ම‍ලේසෙනෙවිරත්න

 

 

‹ පෙර 1 පසු ›